මත් කොට මනුෂ්‍යාගේ ප්‍රකෘති ස්වභාවය නැති කරන්නා වූ රා අරක්කු ආදී පාන වර්ග බීමද , දුම් වර්ග බීමද, කෑම වර්ග කෑම ද යන මේ සියල්ල සුරාපානකර්මයට අයත් ය.මෙය සත්වයන්ගේ දෙලෝ වැඩ නසන්නා වූ මහත් අනර්ථකාරී වූ කර්මයකි.සුරාවෙන් මත් වූ කල්හි සත්වයා පිස්සකු වැනි වේ.සුරාපානය නිසා ස්වකීය සිත කය දෙක හසුරුවා ගැනීමෙන් ශක්තිය ඔහු කෙරෙන් තුරන් වේ.එ බැවින් මත්වූයේ ජනයා මැද නො සරුප් බස් බිණීම් ,ගී කීම , නැටීම් , නග්න ව හැසිරීම් ආදිය කොට ජනයාගේ පිළිකුලට භාජන වේ . සමහර විට ක්ලාන්ත වී තැන තැන වැටේ .සමහර විට ගත් ආහාරය වමනය කරයි .සමහර විට දුටු දුටුවන් හා කලහයට එයි.ස්වකීය අඹු දරුවන්ට පවා නොයෙක් විට හිරිහැර කරයි.ස්වකීය භාණ්ඩ විනාශ කර ගනී , නො ලැබූ දෑ ලබා ගැනීමේ ද ලැබූ වස්තුව ආරක්ෂා කර ගැනිමේ ද ඥානය ඔහු කෙරෙන් තුරන් වේ.ඒ බැවින් හේ දිළින්දෙකු නම් දිළිඳු බැවින් නඟින්නට නො සමත් වේ.පොහොසතෙකු නම් වස්තු භංගත්වයට පැමිණ දිළිඳු වේ.සුරාව අධික කොට පානය කිරීමෙන් ඇතැමෙක් නොයෙක් රෝගයන්ට භාජන වී අකාලයෙහි මැරෙති.මේවා අපට පෙනෙන්නට ම ඇත්තා වූ සුරාපනයේ දෝෂයෝ ය.සුරාපානයෙන් මරණින් මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක .
"සුරාමේරය පානං භික්ඛවේ! ආසේවිතං භාවිතං බහුලිකතං නිරය සංවත්තනිකං හොති,තිරච්ඡාන යොනි සංවත්තනිකං හොති, පෙත්තවිසය සංවත්තනිකං හොති, යො සබ්බලහුසො සුරාමේරය පානස්ස විපාකෝ මනුස්ස භුතස්ස උම්මත්තක සංවත්තනිකං හොති "
"මහණෙනි , සේවනය කරන ලද්දා වූ වඩනා ලද්දා වූ බොහෝ කොට කරන ලද්දා වූ සුරාමේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වේ.තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවත්නේ වේ.ප්‍රේත විෂයෙහි ඉපදීම පිණිස පවත්නේ ය.සුරාමේරය පානය කිරීමේ ඉතා ම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස් ලොව උපන්නහුට උමතු බව ඇති කරන්නේ වේ." ය යනු එහි තේරුමයි .
" උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
දීනා සදා ව්‍යසන රෝග පරායනා ච,
ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
පීත්වා හලාහලවිසංච සුරා විපාඤඤා "
නුවණ නැත්තා වූ පුද්ගලයෝ හලා හල විෂයක් (කෑ සැටියේ මැරෙන විෂයක් ) බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උම්මත්තකයෝ වන්නාහ .ලජ්ජා ගුණය නැත්තෝ වන්නාහ .දිළින්දෝ වන්නාහ.සෑමකල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ.නොයෙක් ජාති වල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ යනු එහි තේරුමයි.
සුරා පානය නිසා මෙලොව විනාශයට පත්වූවෝ බොහෝ ය.එක් කලෙක මුළු දඹදිව ම යටත් කර සිටීමට සමත් වූ වාසුදේවාදී රාජ කුමාරවරු දසදෙන සුරාපානයෙන් නැසුණෝ ය.පෙර එක රජ කෙනෙක් සුරාපානයෙන් මත් වූයේ සිය පුතු මරවා ඔහුගේ මස් කා සිහි වූ පසු මහත් ශෝකයට හා ලජ්ජාවට ද පැමිණියේ ය.සතළිස් කෝටියක් ධනය ඇති ව සිට අනේපිඬු මහා සිටුහුගේ බෑනා කෙනෙක් සුරාපානය නිසා ධන හානියට පැමිණ සිඟා කමින් ජිවත් වී අන්තිමේ දී අනුන්ගේ ගෙයක බිත්තියක් අද්දර මළේය . ගෙහිමියෝ බලු කුණක් සේ මල සිරුර වනයට ඇද දැමුහ.
සැවත් නුවර අසූකෙළක් ධනයට හිමියෙකු ව සිටි මහා ධන සිටු පුත්‍රයා සුරාපානය නිසා සියල්ල නැති වී හිඟමනට පත්ව අන්තිමේ දී අනුන්ගේ ගෙයක බිත්තියක් අද්දර මැරී ගෙහිමියන් විසින් බලු කුණක් සේ වනයට අද දමන ලද්දේ ය. පෙර තව්තිසා දෙව්ලොව විසු අසුරයෝ ද සුරාපානය නිසා ඒ දෙව් ලොවට අහිමි වූහ.
No comments:
Post a Comment